1. දුෂිත පාලනයක අවසානය.
දැනට වසර කීපයකට පෙර ශ්රී ලංකාවේ පැවති දේශපාලන සන්දර්භය කියවීමෙන් පසුව සහ කාලයේ සලකුණු දුටු මා තේරුම් ගත්තේ, දිගු කලක් පැවතුන දුෂිත පාලනය නිසාවෙන් ජනගහනයෙන් අඩකට වැඩි කොටසක් දරා ගත නොහැකි පීඩාවකට ලක්ව ඇති බවය. එවන් තත්වයක් පැවතීම ඉතාමත් අසාධාරණ යයි අන් බොහෝ අයට මෙන් මටද දැනුනි.
එම පීඩාකාරී පාලනයෙන් මිදීමට එදා තෝරා ගන්නට තිබු එකම විකල්ප මාර්ගය වුයේ ඒ වනවිට ශක්තිමත්ව සහ සංවිධානාත්මක බලවේගයක් වශයෙන් ඉදිරියෙන් සිටි ජාතික ජන බලවේගයේ (ජාජබ) අනුර කුමාර දිසානායකට රටේ පාලනය බාර දීමයි. ඒ අනුව 2024 දී ජනතාව විසින් එම දුෂිත පාලකයන් ධුරයෙන් ඉවත් කරණු ලැබීය. ඉන්පසු, එතුමන්ගේ නායකත්වය යටතේ පවතින ජාජබ යේ මන්ත්රීවරු 159 දෙනෙක් එනම් 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙනු ලැබීය. එසේ නොවුනි නම් තව දුරටත් පීඩනය ඉවසා දරාගෙන සිටීමට ජනතාවට සිදුවනු ඇත. එම නිසා එදා ගත් තීරණය ගැන අදටත් සතුටු විය හැකිය.
එලෙස ඇති වූ වෙනස ජනතා ජයග්රහණයකි. දිගු කාලයක් පුරා දුෂිත පාලනයක් පවත්වාගෙන ගිය සහ රටේ ආර්ථිකය කාබාසිනා කර දැමූ පවුල් බලය සහ එතෙක් රටතුල පැවති ප්රභූ දේශපාලනය එමගින් අවසන් විය. රට බාර වුයේ පහල මාලයේ ග්රාමීය පසුබිමක් ඇති නියෝජිතයෙකුටය. එම වෙනස බොහෝ දෙනෙක් තුල තිබු ජනතාවාදී ආණ්ඩුවක සිහිනය සැබෑ වීමකි. එසේ වුයේ කුමන්ත්රණයක ප්රතිඵලයක් ලෙසින් නොව අති විශාල ජන සහභාගිත්වයක ප්රතිඵලයක් ලෙසයි. එබැවින් එම සිදුවීම ෙඑතිහාසිකයි.
2. මනුෂ්යත්වය කෙරෙහි ඇති වූ බලපෑම.
ඉහත සදහන් කල එම දුෂිත පාලනය රටේ ආර්ථිකය සහ දේශපාලන සංස්කෘතිය විනාශ කලා පමණක් නොව, මනුෂ්යත්වය කෙරෙහි ඇති කලා වූ බලපෑම අතිශයින් අධර්මිෂ්ඨය. ඒ පාලනය තුල මනුෂ්යත්වය කෙරෙහි ඇති වූ විනාශකාරී බලපෑම පිලිබදව ප්රමාණවත් සංවාදයක් මෙතෙක් සමාජය තුල සිදු නොවීමත් අඩුවකි.
දුෂිත පාලකයන් ජනතාවට සැලකුවේ අර්ධ වහලුන් ලෙසටය. මනුෂ්යයින් පිලිබදව ඔවුන්ගේ අදහස වුයේ ඔවුන් තමන්ට පාවිච්චි කල හැකි “භාණ්ඩ” ලෙසය. මිනිස්කමට දැක්විය යුතු ගෞරවය ඔවුන්ට නොලැබුණි. ස්වාධීනව හිතන්න, තීන්දු ගන්න, ක්රියාකරන්න හැකියාව ඇති ජීවින් කොටසක් වශයෙන් ඔවුන්ව සලකනු නොලැබීය. ඉතිහාසය තුල සෑම මනුෂ්යයෙකුටම අයිතීන් ඇති සහ උපතින්ම “කැදවීමක්” ලබා ඇති පිරිසක් බව පාලකයෝ පිලිනොගත්හ. එම නිසා ජීවිතයේ කතෘවරුන් වීමට තිබෙන වගකීම ඉටු කරන්නට අවශ්ය අවකාශය ඔවුන්ට ලබා නොදුනි. පාලකයන්ට තමන්ගේ පැවැත්ම සදහා ජනතාව තුල ඇති කලේ යැපුම් මානසිකත්වයකි. පාලකයන්ට ඔවුන්ව අවශ්ය වුයේ මැතිවරණවලදී චන්ද ලබාගන්න, දේශපාලන රැලි වලට ගෙන්වා ගන්න, මැයි පෙළපාලිවලට ගෙන්වා ගන්න පමණය.
3. ඇති වූ වෙනස සහ සීමාකම්.
ජාජබ බලයට පැමිණීමෙන් පසු ධනාත්මක වෙනස්කම් කීපයක් දැකිය හැක. දුෂණය සහ නාස්තිය අවම වීම, රටේ ආර්ථිකය පැවති තත්වයට වඩා යහපත් වීම, රජයේ අදායම වැඩිවීම, මුල්ය විනය යහපත්වීම, අපනයන ආදායමේ වර්ධනයක් ඇතිවීම, විදේශ රටවල සමග සම්බන්ධතා යහපත් වීම, ආදායම් වියදම් හිගය අඩුවීම, විශේෂ අවශ්යතා ඇති ජන කොටසගේ අයිතීන් ලබාදීම, වතුකරයේ කම්කරු වැටුප වැඩිවීම සහ දෙමල ජනතාව සමග යහපත් සම්බන්ධතා ගොඩ නැගීම ඉන් කීපයකි.
කෙසේ වෙතත්, ජනතාවගේ බලාපොරොත්තු සියල්ල ඉටු වී නැත. ආර්ථික වර්ධනයේ ප්රතිලාභ පහල මාලයේ ජනතාවට තවම ලැබී නැත. සුව සේවාවන් සදහා වියදම, බෙහෙත් මිල ජනතාවට දැරිය නොහැකිය. දැනට ලැබෙන කම්කරු වැටුප ජීවත්වීමට ප්රමාණවත් නොවේ. ඒ නිසා එදිනෙදා ජීවිතයේ ඉසිලිය යුතු බර අඩු වී නැත. වර්තමාන පාලකයින්ට රට තුල නාගරිකරණය තුල සැගවුණු දරිද්රතාවය හදුනා ගැනීමට නොහැකිව ඇත. ගොවියාගේ පොහොර සහනාධාරය සහ අලෙවිය පිළිබද ගැටලු එදා මෙන්ම අදත් ඔවුන්ට ඇත.
තවද, රාජ්ය යාන්ත්රනය තුල දුශිතයන්ගේ ආධිපත්ය තවමත් පවතී. මහා බැංකු හොරු, පාස්කු මහ මොලකරු වැනි හොරු නිදැල්ලේ සිටිති. ඔවුන්ට විරුද්ධව නීතිය ක්රියාත්මක වීමේදී පවතින ප්රමාදය ගැන ජනතාවගේ අප්රසාදයක් දැනටම පැන නැගී තිබේ. මැතිවරණයට පෙර දුන් සමහර පොරොන්දු වන ජනාධිපති ධුරය අහෝසි කිරීම, ත්රස්තවාදී පණත අහෝසි කිරීම ද සිදු වී නැත.
මැතිවරණ ජයග්රහණයෙන් පසු ජනතාව සහ මන්ත්රීවරුන් 159 දෙනා අතර සම්බන්ධය අඩුවෙමින් පැවතීම මුලික ප්රශ්නයකි. පාර්ලිමේන්තුව ඇතුලත තමන් සතු බලය ගැන විශ්වාසය තබමින්, ජනතාව සමග පවත්වා ගත යුතු සම්බන්ධතාවය කෙරෙහි අඩු සැලකිල්ලක් දක්වන බව පෙනෙන්ට තිබේ. පහල තලයේ සිට ඉහල තලයට සහ ඉහල තලයේ සිට පහලට සිදුවන සන්නිවේදනය ඉතා දුර්වලය.
4. ස්වයං විවේචනය.
එදා ජාජබ ආණ්ඩුවක් ගැන සිහින මවන විට අප කාටත් විශාල බලාපොරොත්තු තිබුනි. බිහිවෙන්නට යන නව සමාජයක් ගැන තිබු සිහිනය සැබෑ කරගන්නට අපි එ්කරාශී වුනි. එවන් සමාජයක් බිහිවන බවට ලකුණු තවම පැහැදිලි නැත. එසේ වන්නට ජාජබ තුල පවතින සීමාකම් හේතු වනවා විය හැක. එවැනි සීමාකම් තිබීම ස්වභාවිකය. නමුත්, ඒවා ප්රශ්ණ කර විසදා ගත යුතු වේ. දේශපාලන පක්ෂය දේවත්වයෙන් සැලකිය යුතු නැත. ආණ්ඩුව නිවැරදි වීම අනවශ්ය ලෙස ප්රමාද විය යුතු නැත. ජනතාවට ඉවසීමේ සීමාවක් ඇති බව නායකත්වය තේරුම් ගත යුතුව ඇත.
ඉදිරිගාමී පක්ෂයක් නම් තමන්ව ප්රශ්ණ කර ගැනීමේ ලක්ෂණය තිබිය යුතුමය. ස්වයං විවේචනයට විවෘත වීම නායකයින් ගේ යහපත් ලක්ෂණයකි. විවේචන නොරුස්සන ස්වභාවයක් නායකයන් තුල ඇත්නම් එම තත්වය මුළු දේශපාලන ව්යාපාරයේම අනාගත පරිහානියේ පෙර නිමිත්තක් වේ.
ජාජබ ආණ්ඩුවේ ද සීමාකම් පිලිබදව උදාහරණ මෙහි සදහන් කිරීම අවශ්ය නැත. නමුත්, ඒවා ප්රශ්න කල යුතුවේ. එමෙන්ම ප්රශ්ණ කිරීම වග කීමෙන් කල යුතු වේ. එසේ නොවුනහොත් ඉදිරි ගමන ආඩාල වෙනු ඇත. ඒවා ප්රශ්ණ කල යුතු වන්නේ ගමන් මග නිවැරදි කරගෙන ආරම්භ කර ඇති ගමන කෙලවර දක්වා යාම සදහා මිස, ප්රතික්ෂේප වූ සොරුන් සහ දුෂිතයන් නැවත බලයට ගෙන ඒමට නොවේ. ඔවුන් නැවත බලයට පැමිණීම වලකා ගත යුතුව ඇත. එසේ වන්නේ ජාජබ දැනට වඩා ජනතාව අතර ජන ප්රසාදය දිනා ගත් විටය.
මේ ගමන් මගේදී සතුරන් ඇති කර ගන්නවාට වඩා මිතුරන් ඇති කර ගැනීම වඩා ප්රයෝජන දායකය. එබැවින් පොදු අරමුණක් ඇති සියලු දෙනා මේ ගමනේ මිතුරන් කර ගැනීම වටී. ජාතික ජන බල වේගය ආරම්භ වුයේද එවන් පදනම් මත පිහිටාය. තනියෙන් ගියොත් කෙටි දුරක් යා හැකි බවත් එක්ව ගියොත් වැඩි දුරක් යා හැකි බව ජනාධිපති තුමා නිදහස් දවසේදී ප්රකාශ කල බව මතක් වුනි.
එමෙන්ම, ජාජබ නිවැරදි කර ගැනීමේ වගකීම ජනතාව තමන් වෙත පවරා ගත යුතු වේ. එය සංවිධානාත්මකව කලයුතු කාර්යකි. ජාජබ බලයට ගෙන එන්න සංවිධානය වුවා සේම, අද දින එහි සීමාකම් නිවරදි කර ගන්න මහජන ව්යාපාරයක් වශයෙන් ක්රියා කලයුතුව ඇත.
5. ප්රායෝගික යෝජනා.
ජාජබ නායකත්වය තවම ජනතාවට දෙන පණිවුඩය වන්නේ පැරණි නායකයන්ගේ දුෂණ සහ සොරකම් ගැන සහ තමන් ඔවුන් මෙන් නොවන බවත්ය. ජනතාව එදා සිටම එම කතාව පැහැදිලිව තේරුම් ගෙන ඇති බැවින් නැවත නැවත එය ප්රකාශ කිරීම අද අවශ්ය නැත. අද අවශ්ය වන්නේ වරද කරුවන් නීතිය වෙත ගෙන එ්මේ ක්රියා මාර්ගය වේගවත් කිරීමය.
දැන් ජනතාවට පැහැදිලි විය යුත්තේ ජාජබ ආණ්ඩුව ජනතාවගේ මනුෂ්යත්වය යලි නගා සිටුවන වැඩ පිළිවෙල ගැනය. එනම් රටේ දේශපාලනයට සහ ආර්ථිකය ගොඩනගන්නට පහල මාලයේ ජනතාව ක්රියාකාරී ලෙස හවුල් කර ගන්නා, එනම් මනුෂ්යාට ඉතිහාසය තුල පැවරෙන වගකීම් ඉටුකරන්නට ඉඩ සැකසෙන යෝජිත වැඩ පිළිවෙල ගැනය. එමෙන්ම සමාජය තුළ සමානාත්මතාවය, යුක්තිය පිහිටු වීම සහ පහල මාලයේ ජනතාවගේ ආදායම් තත්වය ගොඩ නැගීම සදහා ප්රායෝගික වැඩ පිළිවෙල ජනතාව සමග සංවාදයට ලක් කිරීමය.
එවන් සංවාදයක් ජනතාව අවදිකරවන, තමන්ගේ සංවර්ධනය පිලිබදව තීන්දු ගන්නට, සැලසුම් නිර්මාණය කරගන්නට, වගකීම් පවරාගන්නට ජනතාව පොලඹවන, බිම් මට්ටමේ සිදුවෙන අධ්යාපන වැඩ පිළිවෙලක් විය යුතුය. එවන් ක්රියාවලියක් ඇතිවන්නට නම් ඊට සුදුසු යාන්ත්රනයක් ආණ්ඩුව විසින් ස්ථාපිත කල යුතු වේ. එවන් දැනුවත්වීමකින් අවධිවන ජනතාව ප්රභූන්ව, සොරුන්ව සහ දුෂිතයන්ව නැවත බලයට ගෙන එ්මට ඉඩ දෙන්නේ නැත. ජාජබ තුල පවා නුසුදුස්සන් සිටී නම් ඔවුන්වද ප්රතික්ශේප වෙනු ඇත. එවිට ජනතාවගේ සිහිනය සැබෑවන්නට මග පෑදෙනු ඇත.
සමුපාකාරය එවන් දේශපාලන වැඩ පිළිවෙලකට හොද උපාය මාර්ගයකි. එම උපාය මාර්ගය තෝරා නොගෙන ආර්ථිකය ශක්තිමත් කිරීමට මහ ජනතාවගේ සම්පත් පුද්ගලික සමාගම් වලට පැවරීම සිදු නොවිය යුතුය. එයින් සිදුවන්නේ නම් මුදලට තම ශ්රමය පුජා කරන්න ජනතාවට සිදුවේ. එසේ වුවහොත් ජාජබ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙල තෝරා ගැනීමක් වනු ඇත. පුද්ගලික අංශය සම්පුර්ණයෙන් අයින් කල යුතුය යන ප්රතිපත්තිය එයින් අදහස් නොකෙරේ. අපි බලාපොරොත්තු වන්නේ පොදු අයිතිය තහවුරු කරන සමූපකාරය නැවත ගම තුල පණගන්වන වැඩ පිළිවෙලකි. නමුත්, එවන් වැඩ පිළිවෙළක ලක්ෂණ එනම් සමුපාකරයට රාජ්ය මුදල් ආයෝජනය කිරීමක්, සමුපාකාර ප්රතිඵත්ති ගමට හදුන්වාදීමක්, ගම තුල තවම දකින්නට නැත.
ආණ්ඩුවේ සමහර යෝජනා කෙටුම් පත් කිරීමට පෙර හෝ ක්රියාවට නගන්නට පෙර ජනතාව සමග සංවාද කල යුතුය. යෝජනා වී ඇති ත්රස්ත විරෝධී කෙටුම්පත පවා සංවාදයකින් තොරව කෙටුම් පත් කිරීම අනුවන ක්රියාවකි. විය යුත්තේ දැනට වඩා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන යෝජනාවන් හදුන්වාදීමය.
No comments:
Post a Comment